What is a VPN? VPN කියන්නෙ මොකක්‌ද?


අද, ඒ කියන්නෙ මාර්තු 7 වෙනිදා 2018, ලංකාවේ ආණ්ඩුව රාජ්‍ය ආරක්ෂාව සලකලා තීරණයක් ගත්තා. ඒ තමයි දින නියමයක් නොමැතිව සමාජ ජාල වෙබ් අඩවි සහ ක්ෂණික තොරතුරු හුවමාරු කරන මෘදුකාංග දින නියමයක් නොමැතිව විසන්ධි කරන එක. මෙය අවස්ථාවේ හැටියට ඉටු කළා වුනත් මෙමගින් දිනපතා අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරන දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා වැඩ කටයුතු, දින චර්යා වලට ප්‍රබල බාදාවක් ඇති උනා කියන කාරණය අපිට නොසලකා හරින්න බැහැ. කෙසේ වුනත් මේ කාරණය හන්ද තමන්ගේ වැඩ බාධා කර ගන්න අකමැති සහ මෙසේ රාජ්‍ය ආණ්ඩු මගින් කතා කිරීමේ අයිතියට බාධා කරන එක නොඉවසන කිහිප දෙනෙක්, විශේෂයෙන්ම වර්තමාන ලංකාවේ  තරුණපරපුර අලුත් මෙවලමක් භාවිතා කලා මේ බැමි වලින් මිදිලා නිදහසේ තමන්ගේ අන්තර්ජාල පහසුකම් අත් විදින්න. මින් වැඩියෙන්ම කතා බහට ලක් වුන මෙවලමක් තමයි VPN කියන්නේ.

හරි. දැන් අපි බලමු මොකක්ද මේ VPN? මොකක්ද එකෙන් කරන්නේ, එකේ හොඳ නරක සහ ඇත්තටම ඇයි එකෙන් වාරණය කරන ලද පහසුකම් ඒ වගේ බාවිතා කරන්න ලැබුනේ කියලා.

VPN කියන්නේ දිගහැරලා කියනවනම් Virtual Private Network එහෙම නැත්තම් අතත්‍ය පුද්ගලික ජාලය (මේක හරිම සිංහල නම ද නං දන්නේ නෑ ) කියන්නේ අන්තර්ජාලය හරහා හෝ වෙනත් පරිගණක ජාලයක් හරහා හදන තවත් කුඩා පුද්ගලික ජාලයක්. මේ ජාලය පරිගණක හෝ වෙනත් අන්තර්ජාල උපාංග දෙකක්  නෙමේ කිහිපයක් අතර උනත් සකස් කර ගන්න පුළුවන්. මේ සකස් කර ගන්නා ජාලයන් සාමාන්‍ය අන්තර්ජාල සම්බන්දෙකට වඩා  වේගවත් වගේම ඒ ජාලය තුල පෞද්ගලික ලෙස දත්ත හුවමාරු වෙන්න encrypted එහෙම නැත්තම් ගුප්ත ලේඛන ලෙස අංකිතව දත්ත හුවමාරු වෙන්න සකස් කල හැකි නිසා ආරක්ෂාව අතිනුත්  ඉහල මට්ටමක පවතිනවා . මෙසේ දත්ත හුවමාරු කිරීම මුලින්ම විශ්ව විද්‍යාල අතර තොරතුරු හුවමාරුවට, බැංකු කටයුතු සදහා වගේ ඉහල ආරක්ෂාවක් හා නිවැරදිභාවයක් සහිතව කල යුතු සේවා සදහා මුලදි පැවතුනත් පසුව සාමන්‍ය ජනයාගේ කටයුතු වලට පවා මෙම ක්‍රමය භාවිතා කිරීම දැන් දුලබ දෙයක් නෙමෙයි.

දැන් අපි බලමු ගොඩක් ස්මාර්ට් දුරකථන සහ පරිගණක වල අන්තර්ජාලයට පිවිසෙන්නට මේ භාවිතා කරන VPN Apps කියන්නේ මොකක්ද කියලා. මෙහිදී ඇත්තටම සිද්ද වෙන්නේ proxy server කියන අන්තර්ජාලය ලබා දිය හැකි දැවැන්ත දායක පරිගණකයකට තමන්ගේ අන්තර්ජාල සම්බන්දය හරහා VPN එකක් මගින් සම්බන්ද වෙන එක. එහෙම සම්බන්ද උනාම ඒ පෞද්ගලික ජාලය තුල රහස්‍ය අංකිත / ගුප්ත ලේඛන අංකිත ලෙස දත්ත හුවමරු කර ගන්න එම සම්බන්දවන පරිගණකයට හා අන්තර්ජාල දායක පරිගණකයට පුළුවන්.
ඒ සම්බන්යේ දත්ත හුවමාරුවෙන්නේ කේතනය කරලා(encrypted) හන්දා අන්තර්ජාල සේවා දායකයා ට හෝ වෙනත් කෙනෙකුට හුවමරු වෙන දත්ත බලන්න බැහැ. එසේ සම්බන්ද උනාම මේ මෘදුකාංග වලින් කරන්නේ දායක පරිගනකයෙන් අන්තර්ජාල පහසුකම් ලබා දෙන එක. එමගින් අන්තර්ජාල සම්බන්දෙ දෙන එක නතර කරන්න ISPට නැත්තම් අන්තර්ජාලස සේවා සපයන්නා ට අපහසු යි, මොකද මොන දත්ත හුවමරු වෙනවද කියල නොදැනීම නිසා. එතකොට ඇත්තටම පරිශීලකයා ඔය අන්තර්ජාලේ භාවිතා කරන්නේ දායක පරිගණකය හරහා, ඒ දායක පරිගණකය තමයි සියලුම දත්ත වෙබ් අඩවි සමග හුවමාරු කර ගන්නේ. දායක පරිගණක හැමවිටම වගේ unblocked එහෙම නැත්තම් අවහිර නොකරන ලද අන්තර්ජාල පහසුකම් සහිතව තමයි තියෙන්නේ. ඒ හන්දා ඕනෑම අවහිරයක්, වාරණයක් මග හැරලා නිදහසේ අන්තර්ජාලය භාවිතා කරන්න පරිශීලකයෙකුට පුළුවන්. මෙම උපක්‍රමය මගින් ISP එහෙම නැත්තම් අන්තර්ජාල සේවා සපයන්නා ගේ වාරණ පමණක් නෙමේ, කුඩා පරිමාණයේ ආයතන මට්ටමේ වාරණ උනත් මගහැර යන්න පුළුවන්. සමහර ආයතන වල සමාජ ශාලා වෙබ් අඩවි වාරණය කරලා තියෙන විටත් එසේ VPN මගින් අන්තර්ජාලය භාවිතා කිරීම  දැන් කාලේ දුලබ දසුනක් නෙමෙයි.

හරි. එතකොට ඔබ අහවි මේක වලක්වන්න ක්‍රමයක් නැත්ද, මෙය එතරම් unbreakableද නැත්තම් අවහිර කල නොහැකිද කියල. ඇත්තවශයෙන්ම අවහිර කරන්න පුළුවන්. VPN වල බාවිතා කරන Tunneling එහෙම නැත්තම් ද්වාර උපක්‍රමය (protocol) ISP ට හෝ ඔබගේ ජාල පරිපාලක(Network Administrator) ට අවහිර කරන්න පුළුවන් පහසුවෙන්ම. SLT මගින් සීමාරහිතව අන්තර්ජාල පහසුකම් දුන්න දින වල එසේ මෙම ක්‍රමය වාරණය කරලා තිබුන බව සමහර පරිශීලකයන්ට මතක ඇති. එහෙනම් ඇයි මෙම ක්‍රමය වාරණය නොකලෙ? එයට හේතුවක් තිබෙනව. එසේ වාරණය කලා නම් VPN භාවිතා වෙන  අනෙක් සියලුම සේවාවන් අවහිර වෙනවා. බැංකු කටයුතු, remote desktop assists, Internet based VPN game servers, මේ වගේ විශාල සේවා ප්‍රමාණයක් අවහිර වෙනවා එහෙම කලොත්. එම නිසා දැනට නම් VPN අවහිර කරලා නැහැ , නමුත් එසේ කරන්නත් බැරී කමක් නැහැ. ISP ලා මගින් ආයතනික සේවා සදහා VPN භාවිතා කරන අය හදුනා ගෙන එම පරිශීලකයන්ට පමණක් VPN පහසුකම් භාවිතා කිරීමට ඉඩ දීල අනෙක් සියල්ලන්ම අවහිර කරන්න පුළුවන්. එහෙම කලොත් නම් tor - protocol නැතිනම් ලූණු ගෙඩියෙ සංකල්පය වගේ එකක් භාවිතා කරන්න වෙනවා. එය මීට වඩා සංකීර්ණ හා ඉතා ආරක්‍ෂිත උනත් වේගයේ පොඩි අඩු පාඩු කම් දකින්න පුළුවන්.

ඒ වගේම තවත් වාරණ උපක්‍රමයක් විදියට දන්නා දායක පරිගණක වලට(servers) අන්තර්ජාල සම්බන්ද විසන්දි කරන්න අන්තර්ජාල සේවා සපයන්නාට(ISP) හෝ ජාල පරිපාලක(Network Administrator)ට පුළුවන්. එසේ කිරීමෙන් VPN සදහා හෝ වෙන මොනම කාරණාවක් සදහා වත් දායක පරිගණකයට සම්බන්ද වෙන්න බැහැ. එමගින් උනත් මෙය අවහිර කල හැකි උනාට එසේ සේවා සපයන දායක පරිගණක දහස් ගණනක් අන්තර්ජාලයේ තිබෙන නිසා ඒවා සියල්ල අවහිර කිරීම ඉතාමත් අපහසු වැඩක්.

VPN භාවිතා කිරීම ආරක්‍ෂිත ද? සත්‍ය වශයෙන්ම නැහැ. ඔබ VPN මගින් අන්තර්ජාලය භාවිතා කරණකොට ඔබගේ සියලුම දත්ත දායක පරිගණකයට බලන්න පුළුවන්. දායක පරිගණක ඔබට සේවාව සපයනවා වගේම ඔබගේ දත්ත මතු ප්‍රයෝජනය සදහා ගබඩා කොට තියා ගන්න පුළුවන්. විශේෂයෙන්ම නොමිලේ සේවා සපයන දායක පරිගණක මෙසේ ඔබගේ දත්ත, මාර්ගගත ගිණුම් වගේ දේවල් ගබඩා කොට තබාගෙන වෙළද දැන්වීම් සදහා යොදා ගන්නවා. එසේම අඩු ආරක්ෂාව සහිත දායක පරිගණකයක් නම් අන්තර්ජාල සොරෙකුට පහසුවෙන් එම දායක පරිගණකයකට පිවිසිලා පරිශීලකයන්ගේ දත්ත සොර ගන්න පුළුවන්. එම නිසා හැමවිටම විස්වාසවන්ත දායකයෙක් තෝරා ගන්න. එම දායකයන්ගේ user agreement එහෙම නැත්තම් පරිශීලක එකගතා ලියවිල්ල කියවල බලන්න මොන මොන දත්ත ද ඔවුන් පිරික්සා බලන්නේ, ගබඩා කරගන්නේ කියලා. ගොඩක් මුදල් ගෙවා ලබා ගන්නා සේවා සදහා නම් කිසිම දත්තයක් ඔවුන් ලග තබා නොගැනීමට නීතියෙන් බැදී සිටිනවා. TunnelBearවගේ වාණිජ VPN සේවා සපයන්නන් එයට උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.

හොද VPN එකක් තෝරා ගන්නේ කොහොමද? මුලින්ම එහි සේවාව සපයන කොදේසි කියවා බලන ඕනා. නොමිලේ ද? එසේ නම් කෙතරම් කාලෙකට ද, කොතරම් දත්ත ප්‍රමානයක් නොමිලේ ලැබෙනවා ද, අපගේ දත්ත ආරක්‍ෂිත ද, එම දත්ත වලින් දායක පරිගණකය පරික්ෂා හෝ ගබඩා කර ගන්නේ මොනාද, ඔය වගේ දේවල් සලකා බලන්න අවශ්‍යයි. ඒ වගේම VPN සේවාවක් තෝරා ගැනීමේදී සියල්ලෝම භාවිතා කරන මෘදුකාංගයක් හෝ සේවා සපයන්නෙක් නැතිව ප්‍රචලිත නොවන සේවා සපයන්නෙක් සොයා ගැනීමෙන් දත්ත තදබදය අඩු නිසා හොඳ සේවාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සේවාව සපයන දායක පරිගණකය තෝරා ගැනීමට හැකි අවස්ථාවකදී භූගෝලීය ලෙස කිට්ටුවෙන්ම තිබෙන දායක පරිගණකයක් තෝරා ගැනීමෙන් දත්ත හුවමාරු කාලය අඩු කර වේගවත් සේවාවක් ලබා ගන්න පුළුවන්.







eg: Windscribe VPN, HotSpotShield, TunnelBear, Opera VPN

Comments